පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට ‘ACEF Asian Business LeadersAwards’ හිදී රන් සම්මානයක්


ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී පසුගියදා පැවති ‘ACEF Asian Business Leaders Awards’ හිදී රන් සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ආසියානු කලාපයේ විශිෂ්ටතම සමාගම් හා ආයතන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ අතර, විශිෂ්ටත්වය, නවෝත්පාදනය හා පාරිභෝගික-කේන්ද්‍රීයත්වය වැනි සාධක සැලකිල්ලට ගනිමින් මෙම සම්මානය පිරිනමන ලදි.


මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා මෙසේ අදහස් දැක්වී ය. “ACEF Asian Business Leaders Awards හිදී විශිෂ්ටතම ලීසිං සන්නාමය ලෙස ඇගයීමට ලක් වීම අපට මහත් ගෞරවයක්. මෙය අපගේ සමාගමේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස අප සලකනවා. එමෙන්ම මෙය අප විශිෂ්ටත්වය, පාරිභෝගික තෘප්තිය සහ නවෝත්පාදනය උදෙසා දක්වන කැපවීම තවදුරටත් තහවුරු කරන සාධකයක් ලෙස හැඳින්විය හැකියි. අප කවදත් ගනුදෙනුකරුවන්ට මුල් තැන දුන් සමාගමක්. මෙම සම්මානය, ලීසිං සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන නවෝත්පාදන විසඳුම් හඳුන්වා දීම සඳහා අප ගන්නා උත්සාහයේ සාර්ථකත්වය වෙනුවෙන් ලැබුණු ඇගයීමක් ලෙස මා දකිනවා.”


ACEF Asian Business Leaders Awards යනු ආසියානු කලාපයේ විශිෂ්ටතම ව්‍යාපාර ඇගයීමට ලක්කරන ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලකි. නවෝත්පාදනය, නායකත්වය සහ වෙළඳපොළ කෙරෙහි ඇතිකරන ලද සාධනීය බලපෑම වැනි සාධක සැලකිල්ලට ගනිමින්, ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් එහි ජයග්‍රාහකයන් තෝරාගනු ලැබේ. මෙම සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි වීම මගින් , මෙරට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු මෙන්ම ප්‍රමුඛතම ලීසිං සන්නාමයක් ලෙස පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සතු පිළිගැනීම තවදුරටත් තහවුරු වී ඇත.


මෙම සම්මානයට අමතරව පසුගිය කාලය තුළ තවත් දේශීය හා ජාත්‍යන්තර සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට හැකියාව ලැබිණි.


මෙම ජයග්‍රහණයේ වැදගත්කම සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සන්නාම හා සන්නිවේදන) රජීව් ඩේවිඩ් මහතා මෙසේ අදහස් පළකළේ ය. “බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සන්නාමයක් ලෙස රන් සම්මානයකින් පිදුම් ලැබීමට හැකි වීම අපට මහත් සතුටක්.

අපගේ අරමුණ වන්නේ අපගේ ගනුදෙනුකරුවන්ට මෙන්ම අභ්‍යන්තර පාර්ශ්වකරුවන් සියලුම දෙනා වෙනුවෙන් විශිෂ්ටතම සන්නාම අත්දැකීමක් තිළිණ කිරීමයි. ඇත්ත වශයෙන්ම බාහිර ගනුදෙනුකරුවන්ට ඒ අත්දැකීම තිළිණ කරන්නේ අභ්‍යන්තර ගනුදෙනුකරුවන් විසිනුයි. ඒ සම්බන්ධතාව යහපත් ලෙස පවත්වාගෙන යාමට අප සෑම විටම කැප වී සිටිනවා.” මෙම සම්මානය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ආසියාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත් වී සිටින බවට මනා සාක්ෂියකි. ඉදිරියටත් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදෙමින් දිගින් දිගටම මෙවැනි ජයග්‍රහණ වාර්තා කරගැනීම සමාගමේ අරමුණ වී තිබේ.

ඡායාරූපය: පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා (මැද) සහ සහකාර සාමාන්‍යාධිකාරී (ශාඛා ජාලය) නීල් ලන්දේකුඹුර මහතා (දකුණේ) The Digital Fellow.com හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සුභෝබ්‍රොටෝ චක්‍රබෝර්ති මහතා අතින් සම්මානය ලබාගත් අවස්ථාව

ඡායාරූපය: පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සන්නාම හා සන්නිවේදන) රජීව් ඩේවිඩ් මහතා